අද සිටින දේශපාලනඥයන්ටත් පාවාඩ එළමු ද?

0
9

මෙහි දැක්වෙන්නේ පැරැණි ඡායාරූපයකි. එහි සිටින ප්‍රධාන තැනැත්තා ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය ඩී.ඇස්. සේනානායක මහතා වන අතර ඔහුට පිටුපසින් සිටින්නේ ඩී.ඇස්.ගේ ආණ්ඩුවේ මුදල් ඇමැති ජේ.ආර්. ජයවර්ධනය. ජේ.ආර්.ට පිටුපසින් මුස්ලිම් ප්‍රභූවරුන් දෙදෙනකු සිටී. ඔවුන් හඳුනාගත නොහැකි බැවින් ඔවුන් මහජන නියෝජිතයන්ද යන්න සඳහන් කළ නොහැකිය.

මෙම ඡායාරූපයට විශේෂ වැදගත්කමක් හිමි වන්නේ දැනට අප වෙතින් බැහැර වී ඇති පැරැණි සංස්කෘතික අංගයක් මේ ඡායාරූපය නැවත සිහිපත් කරවන බැවිනි. එනම් උත්සවයට පැමිණෙන දේශපාලන ප්‍රභූවරයා උත්සව භූමිය කරා පාවඩ මතින් රැගෙන යෑමය. එය 1940 දශකය දක්වාම චාරිත්‍රයක් වශයනේ පැවැති බව මෙම ඡායාරූපයෙන් සනාථ වේ. එකල ගම්වැසියන් අඳිනු ලැබූ මඩකළපු පලේකාට් සරොමක් ඇඳ ඉණ පටිය බැඳ අත්කොට මේස් බැනියමකින් සැරසුණු මාමා කෙනෙක් දෙකට නැවී මැති ඇමැතිවරුන්ට පාවාඩ එළන අන්දම ඡායාරූපය අපට පෙන්වයි. උත්සවය පැවැත්වෙන්නේ පාසලක නම් ඉදිරියෙන් ගමන් ගන්නේ විදුහල්පතිනිය විය හැකිය. වේලාව මධ්‍යාහ්න ‍ෙදාළහ විය යුතු බව උත්සව භූමිය කරා දිව යන කුඩා ළමයාගේ සෙවණැල්ලෙන් පෙනේ. පාවාඩ දමන මාමාද කුඩා ළමයාද සිටින්නේ නිරුවත් දෙපාවලිනි. ඉහළ රැලි පාලම්වල සෙවණැල්ලද පොළොවේ දැකිය හැකිය.

ජයවර්ධන මහතා ගැඹුරු කල්පනාවකින් යුතුව බලා සිටින්නේ පාවාඩ දමන දෙසය. ඉදිරියෙන් ගමන් කරන මහත්මිය සාරිය ඇඳ සාරිපොට ඉණ වටා යවා පහසුවෙන් ගමන් කරයි. දැඩි අව් රශ්මිය ඇතත් ඇය වම් අතෙහි ඇති කුඩය ඔසවා නැත. ඇගේ අත් ඔරලෝසුව ලිහිල්ව මැණික්කටුවෙන් පහළට වැටී තිබේ. ගෙලෙහි රන් මාලයකි. පාවාඩ එළන මාමාටද ඩී.ඇස්.ට මෙන් උඩු රැවුලක් තිබේ. එය කළුය. අගමැතිගේ රැවුල සුදුය.

දේශපාලනඥයන්ට පාවාඩ එළීමේ පුරුද්ද මේ වන විට ජනතාව අතින් ගිලිහී තිබේ. අවමංගල උත්සව පැවැත්වෙන අවස්ථාවේ මෘත කලේබරය සහිත පෙට්ටිය ගෙන එන විට අවසන් ගෞරවය දැක්වීමක් වශයෙන් පාවාඩ එළීම ප්‍රමුඛ චාරිත්‍රයක් වශයෙන් තවමත් සිදු කෙරේ. ඒ හැරුණු විට දළදා පෙරහරේ සිට අනෙකුත් පෙරහරවලද ධාතු කරඬුව වැඩම කරන ඇතාට පාවාඩ එළීම සිදු කෙරේ.

අතීතයේ විසූ දේශපාලනඥයන් රටට කරන ලද මෙහෙවර සලකා හිසට උඩු වියන් පයට පාවාඩ එළුවාදැයි නොදනිමි. අතීතයේ රජවරුන්ට එලූ පාවාඩ සම්ප්‍රදායක් ලෙස 40 දශකය වන විට මැති ඇමැතිවරුන්ටත් පුරුද්දක් ලෙස එළන ලද දැයි නොදනිමු.

කෙසේ වුවද දැනට සිටින නායකකාරකාදීන් ජනතාවටත් රටටත් කර තිබෙන හරිය සලකාබලන කල වර්තමානයේ සිටින දේශපාලනඥයන්ටත් උත්සව අවස්ථාවල පාවාඩ එළා පිළිගැනීම සුදුසු යැයි සිතේ. අවශ්‍ය නම් ජනතාවගේ කැමැත්ත අනුව උඩු වියන් බැඳ අසෙනිය මල් ඉස පිළිගත්තත් වරදක් නැත. ඔවුන් රටට කර තිබෙන සේවය හා දැනටමත් කරන සේවය ගැන සිතන විට අප සඳහන් නොකළත් ජනතාව දේශපාලනඥයන්ට පාවාඩ එළන්නට ළඟදීම තීරණය කරනු ඇත.

උදේනි සමන් කුමාර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here