ජනපති මැඳුරේදී වෛද්‍යවරියක ලැබූ අත්දැකීම රජ බොජුන් කසළ බඳුනට

0
135

වෛද්‍යවරියක වූ මම 2011 වසරේ දිනෙක මහනුවර ජනාධිපති මන්දිරයේ දිග විසල් ආලින්දයේ පෙළට තබා තිබූ ලොකු වේවැල් පුටුවක හිඳගෙන, සුන්දර වටපිටාව නෙතින් රස විඳිමින් සිටියෙමි. සුදු මිනිසුන් රුවල් නැව් තනා ගෙන, සත් සමුදුර තරණය කර අවදානම් චාරිකාවන්වල යෙදෙමින් මේ කුඩා දූපතට පැමිණියේ එහි තිබූ මනරම් දේශගුණයත්, වසර පුරා මල් පල හටගන්නා තුරු ලතාවන්ගෙන් සුසැදි, ගංගා ඇළ ‍ෙදාළින් සපිරි, කුළු බඩු, මැණික්, ඇත් දළ ආදී බටහිරින් ලබා ගත නොහැකි සම්පතින් ආඪ්‍ය වූ පාරාදීසයක් වූ නිසා බව වැටහේ. අතිශය සනීපදායක සම ශීතෝෂ්ණ ගුණයෙන් යුතු පරිසරයකි. නෙත සැනසූ තණ නිල්ලය. එහායින් තුනී මිහිදුමක සැඟවුණු කඳු පෙළ අතරින් අතීත ඉතිහාසය මැවී පෙනෙයි.

“මේ මිස් කවුද?” හදිසියේ මගේ දැහැන බිඳුණේ රජවාසල සේවකයකු මා ඇමැතූ බැවිනි. කොටි කාන්තාවක දෙස මෙන් සැකමුසුව බැලූ ඔහු මගේ විස්තර පැවැසූ පසු සිනාමුසුව නැවත ඇතුළට ගියේය.

මා මේ කරන්නේ රාජකාරියකි. එනම් මහනුවර රෝහලේ අනිවාර්ය වගකීමක් වූ ජනධිපති ඩියුටියයි. කොළඹ වෙසෙන ජනධිපති හෝ ජනපති පවුලේ සාමාජිකයකු මහනුවර ජනාධිපති මන්දිරයට පැමිණිවිට ඔවුන් නැවත පිටව යනතුරු එම දේශපාලන ප්‍රභූන්ගේ ආරක්‍ෂාවට සෞඛ්‍ය අංශවලටද සීරුවෙන් සිටීමට සිදුවෙයි. රෝහලේ දහසක් රාජකාරි පසෙක දමා ගිලන් රථයක්, හෙද නිලධාරීන් දෙදෙනකු, රියැදුරු හා සහායක, උපස්ථායකයකු හා කම්කරු මහතකුද අදාළ බෙහෙත්හේත්ද සමඟ වෛද්‍යවරයකු ද මන්දිරයේ ගෙඋයනෙහි නතරව සිටිය යුතුය. ඔව්හු නැවැත් වූ වාහනය තුළට වී සිටිති. මෙදින වෛද්‍යවරියක ලෙස මට පැවැරුණු රාජකාරිය වුයේ ජනපති මැඳුරේ රැඳී සිටීමය. පැයක් පමණ ගත විය.

”එන්න තේ ටිකක් බොන්න” කලින් පැමිණි සේවක තැනගෙන් ආරාධනාවකි. විසල් මැඳුරේ ගෘහ නිර්මාණ ශිල්පය දැක ගැනීමට ද අවස්ථාවකි.

උස වහල සහිත කොරිඩෝර කිහිපයක් අතරින් ගොස් අප පැමිණියේ දිගැති කාමරයකටය. මේසය පුරා මඟුල් ගෙදරක මෙන් ආහාර පුරවා තිබුණද කිසිවකු සිටියේ නැත. උදෑසන ආහාරයක් සඳහා සිතා ගත හැකි සෑම ආහාර වර්ගයක්මද, බත් මාළු පිනිද, අවිනීත ලෙස බාගෙට කා අතැර දමා තිබුණු ආහාර සහිත පිඟන් ද තැන තැන තිබිණි. සෑම වර්ගයකම පලතුරු විවිධ හැඩයන්ට කපා තවත් මේසයක් පුරවා තිබිණි. බටහිර ක්‍රමයට සෑදූ විවිධ ආහාර වර්ගද තිබිණි.

”කට්ටිය කාල ඉවරයි. ඩොක්ටත් කැමැති දෙයක් කන්න”

මේසය අසල වාඩි වූ මට වැටහී ගියේ මේ රජවාසල භෝජනාගාරය බවය.

ඒ සමඟම දර්ශන පථය වලාකුළකින් වැසුණු අතර මම දැන් සිටින්නේ වසර කිහිපයක් අතීතයේය.

අපි ප්‍රාථමික පාසලක පාසල් සෞඛ්‍ය වැඩසටහනකට පැමිණ සිටියෙමු. 1 සිට 5 දක්වා පන්තිවල සිසු සිසුවියන් සංඛ්‍යාව 200ට අඩු නිසා ඔවුන් සියල්ලන්ම වසරක් පාසා පරීක්‍ෂා කරමු.

”මැඩම් මේ බලන්න මාර වැඩක්” ර්ථීඩ්ධ් මහතා මට පෙන්වූයේ ළමයින්ගේ උස, බර සඳහන් ලේඛනයයි. ”මේ ගිය අවුරුද්දේ මේ ළමයි ටිකම. සෙන්ටි මීටරයකින්වත් උස ගිහින් නෑ. කිලෝ එකකින්වත් බර වැඩි වෙලා නෑ”

”ඇත්තම නේන්නම්”

පාසල් විවේකයේදී ගුරුතුමිය හමු වුණෙමි.

”අපි පොඩ්ඩක් බලමුද මෙයාලා දවල්ට කන්න මොනවද පාසල් ගේන්නේ කියලා”

එක් පුතකුගේ කෑම පෙට්ටිය බැලුවෙමි. එහි වූයේ මිරිස් කුඩු ටිකක් ඉසින ලද සුදු කැකුළු සහල් බත් ටිකක් පමණි. බී විටමින් උෟනතාවෙන් කට දෙපස පැළී ඇත. දෑස්වල ඒ විටමින් හිඟකමින් සුදු ඉංගිරියාවේ බිටෝ ලප මතු වෙමින් තිබේ. පසුව අන්ධ වීමේ අවදානම ඇත. ප්‍රෝටීන් උෟනතාවෙන් දුඹුරු ගැන්වී තිබූ තුනී කෙස් කැරලිය. කෝටු වැනි සිහින් අතපයය. මලානික දෙනෙත්ය. මුහුණු හැඟීම් විරහිතය.

”අපිටත් හරි දුකයි. මේ ගමම හරි දුප්පත්. මොනව කරන්නද?

බඩගින්නේ ඉන්න ළමයින්ට උගන්නලා වැඩකුත් නෑ දවසකට දෙතුන් දෙනකුට කලන්තේ” ගුරුතුමිය කියා ගෙන යයි.

නැවත මගේ දැහැන බිඳෙයි.

”ඇයි මිස් මොනව කනවද කියලද කල්පනා කරන්නේ? ඕන දෙයක් කන්න. කවුරුත් නෑ තව කන්න. කොහොමටත් තව ටිකකින් මේව කුණු කූඩෙට. ඊළඟට දවල්ට කෑම ලෑස්ති කරන්න එපායැ”

”මම උදේට කාලා ආවේ. අපේ කට්ටියත් අරෙහෙ ඒකයි කල්පනා කළේ”

”එහෙනම් මොනව හරි බොමු. තේද, කෝපිද, කිරි තේද, කිරි කෝපිද, කූල් ඩ්‍රින්ක්ස්ද? හැම එකම තියෙනවා”

ඔහුගේ ආගන්තුක සත්කාරය ඉවත දැමීමටද නොහැකිය.

”එහෙනම් ප්ලේන් ටී එකක් හදන්නකෝ”

වෛද්‍ය ලංකා සිරිවර්ධන

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here