නිවසේදී පහසුවෙන්ම ලැප්ටොප් එක පිරිසිදු කර ගන්නා ආකාරය

0
72

අන්තිමට ලැප්ටොප් එක පිරිසිදු කරේ කවද ද? එහෙම නැත්නම්, කවදාවත්ම ලැප්ටොප් එක පිරිසිදු කරල නෑ වගේ ද? එහෙම නම් අද දැනගන්න පුළුවන් හරියටම ලැප්ටොප් එක පිරිසිදු කරගන්නේ කොහොමද කියල. මේක ඉතාමත්  සරල වගේම බොහොම පහසු ක්‍රමයක්.  මේකෙන් ලැප්ටොප් එක පිරිසිදු වෙනවා වගේම ගොඩක් අයට තිබෙන රත් වන, හිටි ගමන් ස්ටක් වෙන, ඕෆ් වෙන ප්‍රශ්න වගේ අසීරුතා රැසකුත් මග හරවා ගන්න පුළුවන්.

මෙහිදී පිරිසිදු කරන කොටස්

ලැප්ටොප් එකක් නිවසක වගේ සාමාන්‍ය තැනක පිරිසිදු කරනවානම් ප්‍රධාන වශයෙන් කොටස් 5ක් පිරිසිදු විය යුතුයි. එනම්

1.    ලැප්ටොප් එකේ පිටත් ආවරණය/කේස් එක. (ලැප්ටොප් බෑග් එක නොවේ),
2.    LCD  තිරය
3.    යතුරුපුවරුව සහ ටච් පෑඩ් එක
4.    පොර්ට්ස් (ports) වර්ග
5.    සිසිලන කවුළු

Image result for laptop clean

ලැප්ටොප් එකේ සිසිලන පද්ධතියේ අඩංගු පංකා සහ හීට් සින්ක් පිරිසිදු කිරීමට නම් ලැප්ටොප් එක ගලවා විවෘත කර ගන්න ඕන. එවැනි දේවල් සම්බන්ධයෙන් ඔබට යම් හැකියාවක් තිබේ නම් පමණක් එසේ ගලවාගත යුතුයි. නැත්නම් අභ්‍යන්තර කොටස් වලට හානි වීම හෝ  නැවත සවි කිරීමේදී අසීරු වීමට ඉඩ තිබේ.

එසේම, හැකි නම් ලැප්ටොප් එකේ අත්පොත ගෙන පිරිසිදු කරන ආකාරය ගැන යම් විශේෂිත දෙයක් සඳහන් දැයි තිබේ දැයි බැලීම නුවණට හුරුය.  ප්‍රථමයෙන්ම මේ දේවල් සොයාගත යුතුයි.

Image result for laptop clean

ඇල්කොහොල් – මෙය  ෆාමසි වලින් තුවාල පිරිසිදු කරන්න ගන්න අයිසොප්‍රොපිල් ඇල්කොහොල් කියල ඉල්ලුවාම ලබා ගන්න පුළුවන්. අප මෙහිදී ඇල්කොහොල් (මධ්‍යසාර) යොදාගන්න හේතු ලෙස එය ඉතා වාෂ්පශීලී වීම සහ පැල්ලම් නොසිටීම දක්වන්න පුළුවන්. මේ හේතු නිසා ඇල්කොහොල්, ඉලෙක්ට්‍රොනික උපාංග සහ LCD තිර පිරිසිදු කිරීමට ඉතා සුදුසු ද්‍රවයක් වනවා.

ආසුත්‍ර ජලය හෝ බෝතල් කළ ජලය – ටැප් වතුර තුළ විවිධ අයන වර්ග සහ බනිජ ලවන තිබිය හැකි නිසා ටැප් වතුර යොදා ගැනීමෙන් වැළකිය යුතුයි

බ්ලෝවර් එකක් හෝ වියළි සුළං පහරක් ලබාගත හැකි ආකාරයක්

කන්නාඩි පිස දැමීමට ගන්නා රෙදි හෝ 100% ක් කපු රෙදි කැබැල්ලක්

ආරක්ෂාව ගැන ඉහළින්ම සිතිය යුතු නිසා ලැප්ටොප් එක ක්‍රියා විරහිත කර, චාර්ජර් කේබල් එක සහ බැටරිය ගලවා ඉවත්කරගන්න.
ඉන්පසු ඇල්කොහොල් කොටස් 1 කට ජලය කොටස් 1ක් දමා, ප්‍රමාණවත් තරම් මිශ්‍රණයක් සාදා ගන්න.

Image result for laptop clean

කලින් කියපු රෙදි කැබැල්ල ලාවට ඇල්කොහොල් මිශ්‍රණයෙන් තෙත මාත්තු කරගන්න. අධිකව තෙත් කිරීම හෝ, ලැප්ටොප් එක මතට කෙලින්ම ඇල්කොහොල් ඉසීම නම් කීයටවත් කරන්න එපා. මීළඟට එක් එක් කොටසක් හරියට පිරිසිදු කර ගනිමු

ලැප්ටොප් කේස් එක

මුලින්ම පියන/LCD තිරය පහත් කරලා තෙත මාත්තු කළ රෙදි කැබැල්ල ගෙන ලැප්ටොප් එකේ කේස් එක හොඳට අතුල්ලලා පිරිසිදු කරගන්න. එවිට කුණු දූවිලි ඉවත්වෙලා ගිහින් දිස්නේ ගහන හොඳ නිමාවක් දැක ගන්න පුළුවන් වේවි.  ඊළඟට පියන ඇරලා යතුරු පුවරුව වටේ කොටස් ටික සහ තිරය වටේ කොටසත් පිරිසිදු කරගන්න.

LCD තිරය

දැන් අලුත් රෙදි කැබැල්ලක් ගෙන, ඇල්කොහොල් වලින් තෙත මාත්තු කර LCD තිරය පිස දමන්න. තදින් පිස දැමීමෙන් හෝ වීදුරුව මතට ඇල්කොහොල් ඉසීමෙන් වැළකිය යුතුමයි. මෙහි දී, වීදුරුව වටේ රවුමට හෝ, දෙපැත්තට හෝ උඩ පහලට හෝ ඔබට පහසු මොන ක්‍රමයකට හෝ පිස දමා පිරිසිදු කර ගන්න.

යතුරුපුවරුව සහ ටච් පෑඩ් එක

Image result for laptop clean

බ්ලොවර් එක හෝ වෙනත් තද හුළං පහරක් යොදාගෙන යතුරු අස්සේ සිරවෙලා තිබෙන රොඩු බොඩු සියල්ල පිඹ ඉවත්කරගන්න. ඒ වගේම, ලැප්ටොප් එක අනිත් පැත්ත හරවා, සෙමෙන් සෙලවීමෙන් සහ බුරුසුවකින් පිරිමැදීමෙන් යතුරු අස්සේ සිරවෙලා තිබෙන දේවල් බිමට හලාගන්න පුළුවන්.

යතුරු පුවරුවේ, ඇතුලට එබුනු හෝ සිරවුණු යතුරු තිබෙන්න පුළුවන්. ඒවා ගලවා ඇල්කොහොල් වලින් පිස දැමීමෙන් ඒ යතුරු යථා තත්ත්වයට ගත හැකියි. මෙසේ යතුරු ගලවන්න පුලුවන්ද කියල දැනගන්න තිබෙන හොඳම විදිහ තමයි ලැප්ටොප් එකත් එක්ක ලැබුණු අත්පොත පරිහරණය කරන එක. යතුරු ගලවල ආයෙත් සවි කරනකොට තිබුණු තැනම සවි කරන්නත් අමතක කරන්න එපා.

සමහර ලැප්ටොප් වල නම් වතුර හෝ දියර හැලුනම ගලාගෙන යාමට කුඩා විශේෂ කානු තිබෙනවා. අත්පොතේ ඒ වගක් සඳහන් වනවා නම් හෝ, ඔබේ යතුරුපුවරුවෙත් එහෙම විශේෂිත කානු තිබෙනවානම්, ඔබටත් පුළුවන් යතුරුපුවරුව මතට ආශ්‍රත ජලය ටිකක් හලා ඒවා ගලාගෙන ගියාට පස්සේ වාතයේ වියලා ගන්න. අවසානයේදී, තෙත මාත්තු කළ රෙදි කැබැල්ලෙන් යතුරු ටිකත්, ටච් පෑඩ් එකත් අතුල්ලලා පිරිසිදු කරගත්තම ඒ කොටසත් හරි.

පොර්ට්ස්(Ports) සහ සිසිලන කවුළු

සිසිලන කවුළු වලට සහ පොර්ට්ස් වලට බ්ලොවර් එකෙන් හෝ වෙනත් අධි පීඩිත සුලන් පහරකින් පිඹීමෙන් පිරිසිදු කරගන්න පුළුවන්. කෙලින්ම ඒ කවුළු වලට සුළං පහර අල්ලනවාට වඩා ටිකක් ආනත වෙන්න අල්ලන එක වඩා සුසුයි. එවිට, කුණු සහ ඇතුලේ තිබෙන රොඩු බොඩු සියල්ලම තව තව ඇතුළට යනවා වෙනුවට ඉවතට වීසි කරගන්න පුළුවන්.

ලැප්ටොප් එක ගලවල සිසිලන පංකා(fans) පිරිසිදු කරනවා නම් ටිකක් පරිස්සමින් කළ යුතුයි. මන්ද, කෙලින්ම බ්ලොවර් එකෙන් පංකා වලට පිඹින විට ඒවා ඉබේම කැරකිලා, ඒවාට හානි වෙන්න පුළුවන් නිසා. මේ වගේ වෙලාවක ටූත්පික් එකක් හෝ පොඩි පුළුන් කැබැල්ලක් පංකාවල තටු වලට හිරවෙන්න ගැහුවම ඒවා කරකැවෙන එක වළක්වාගන්න පුළුවන්.

සිසිලන පද්ධතිය අවහිර වී තිබීම ලැප්ටොප් එක අධිකව රත්වන එකට හේතුවක් වෙන්න පුළුවන්. ඒ නිසා මෙලෙස සිසිලන පද්ධතිය පිරිසිදු කරන එක ඉතා වැදගත් දෙයක්.

අවසානයේ මේ සියල්ල කරාට පසුව ලැප්ටොප් එක හොඳින් වේලා පිරිසිදු කරගත යුතුයි. ඉන්පසුව තමයි බැටරිය සහ චාර්ජර් කේබල් එක සවි කර ලැප්ටොප් එක ක්‍රියාත්මක කළ යුත්තේ.

ඉතින්, මේ විදියට අවශ්‍ය කරන දේවල් ටිකත් සොයාගෙන ඔබේ ලැප්ටොප් එකත් පිරිසිදු කරල බලන්න, පැහැදිලි වෙනසක් දකින්න පුළුවන් වේවි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here