ලංකාවේ අපි වෙනස් ජාතියක්!

0
12

ලංකාවේ මිනිස්සු කැපුවත් කොළ ය. කැපුවත් නිල් ය. කැපුවත් රතු ය. පාට පාට ය. දේශපාලන පාට ය. දේශපාලන පාට ඇට-මස්-ලේ-නහරවලට කා වැදී ඇත. එය පරම්පරාගත ජානවලින්ම පැවැත එන්නකි. දේශපාලන පාට රෝගය ජනතාවට බෝ කළේ දේශපාලකයන්ම ය. ඔවුන්ගේ පක්ෂමය. රෝගය කොතරම් දරුණුද කියා තේරෙන්නේ මැයි පළමුවැනිදාට ය. ලෝක කම්කරු දිනය සමරන්නේ වැඩකරන ජනතාව වෙනුවෙන් ය. දේශපාලකයන් බහුතරයක් හැර මේ රටේ සියල්ලෝම වැඩ කරන ජනතාව වෙති.

වැඩ කරන ජනතාවගේ පාට රතු පාට ය. 1886 චිකාගෝ නගරයේ ‘හේමාකට්’ චතුරස්‍රයේදී පැය 8 වැඩ මුරය ඉල්ලා සටන් කළ සිද්ධියේ දී පොලිස් වෙඩි ප්‍රහාරයෙන් කම්කරු සහෝදරයන් හතර දෙනකු මිය ගියේ ය. කම්කරු නායකයන් එල්ලා මැරුවේ ය. කම්කරු නිදහස වෙනුවෙන් සටන් කර රුධිරය වැගිරූ කම්කරු සහෝදරයන් වෙනුවෙන් 1889 දී මැයි 1වැනිදා ජාත්‍යන්තර කම්කරු දිනය ලෙස ප්‍රකාශයට පත් කළේ ය. දිවි පිදූ සහෝදරයන්ගේ රුධිරය සිහි කරමින් කරමින් මැයි දිනය රතුපාටින් සංකේතවත් විය.

ලංකාවේ මුල්ම මැයි දිනය 1933දී කම්කරු නායක ඊ.ඒ. ගුණසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැත් විය. 1956දී එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මැයි දිනය නිවාඩු දිනයක් කළේ ය. මැයි දිනයට පාට එකතු කිරීම ආරම්භ කළේ බණ්ඩාරනායක ය. ඔහු මැයි දිනයට නිල්පාට එකතු කළේ ය.

මැයි දිනය සැණකෙළියක් කළේ යූඑන්පිය ය. ඔවුන් මැයි දිනය සංගීත සැණකෙළිවලින් අවසන් කරන තත්වයකට ගෙනාවේ ය. මැයි දින සැමරුම් බේබදු නැටුම්වලින් සහ දේශපාලන බලිකෝලම්වලින් පිරෙව්වේ ය. නිර්ධන කම්කරු පන්තිය වෙනුවෙන් ලේ හැළුෑ සහෝදරයන් සිහි කර ධනපති පක්ෂ හොඳ ෆන් එකක් ගත්තේ ය. රතු මැයි රැලි කොළ පාට විය. නිල් පාට විය. එක එක පාට විය.

1886 දී ‘හේමාකට්’ චතුරස්‍රයේ දී කළ දේට නොදෙවෙනි වැඩක් එයින් වසර 100කට පසු ජේ.ආර්. ද කළේ ය. 1987දී ජේ.ආර්. මැයි දින පෙළපාළි තහනම් කළේ ය. සමාසමාජ පක්ෂ කාර්යාලය ඉදිරිපිට රැස්වීමට එල්ල කළ කඳුළු ගෑස් ප්‍රහාරවලින් නායක කොල්වින් ආර්. ද සිල්වා රෝගාතුර වී මරණ ඇඳට වැටුණේ ය. අභයාරාමයේ සැමැරුමට වෙඩි තබන්න නියෝග දුන්නේ ය. එම සිද්ධිය මාධ්‍යවේදී උදේනි සමන් කුමාර ‘යුගයක මහා යති සෝභිත වත’ ලිපි පෙළෙහි සටහන් කළේ මෙලෙස ය.

“මේ වකවානුවේම සිදු වූ අමානුෂික මර්දනීය ක්‍රියාමාර්ගය වූයේ 1987 වර්ෂයේ මැයි 1 වැනිදා නාරාහේන්පිට අභයාරාමයේ පැවැති ජාත්‍යන්තර කම්කරු දින රැස්වීමට එල්ල කළ දැවැන්ත පොලිස් ප්‍රහාරයයි. ජනාධිපති ජයවර්ධන මහතා මැයි දින පෙළපාළි තහනම් කළේය. එහෙත් කම්කරු පන්තිය ලෝක කම්කරුවෝ සිය ලෙයින් සටහන් කළ මැයි දින ධජය හකුළා දමන්නට සතුටු නොවූහ. කොපමණ මර්දන තර්ජන ආවත් ජාත්‍යන්තර මැයි රැලිය එක් රැස්වීමකට හෝ සීමා විය යුතුය යන්න කම්කරු පන්තියේ ස්ථාවරය වූයේය.

මාදුළුවාවේ සෝභිත හිමිද, මහජන එක්සත් පෙරමුණේ නායකත්වය දැරූ දිනේෂ් ගුණවර්ධන මහතාද අභයාරාම විහාරස්ථානයේμ මැයි දින රැලිය පවත්වන අරමුණින් මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි සමඟ සාකච්ඡාවට එළැඹුණහ. එම සාකච්ඡා අවසන් වූයේ ජයවර්ධන ආණ්ඩුව කවර ආකාරයේ මර්දනීය පිළිවෙතක් ගෙන ගියත් අභයාරාමයේ මැයි රැලිය පවත්වන බවට දැඩි තීන්දුවක් ගැනීමෙනි. රැස්වීම ආරම්භ වන අවස්ථාව වන විටත් සහකාර පොලිස් අධිකාරී ගපූර් මහතා සිය කුලු පොලු හමුදාවද කැටුව අභයාරාමය වටකොට සිටියේය.

රජය මැයි දින පෙළපාළි රැස්වීම් තහනම් කොට තිබූ බව සැබෑය. ඒ නිසාම එම වසරේ ලංකාවේ ලෝක කම්කරු දිනය සැමරීමක් සිදු වූයේද නැත. අභයාරාමය වූ කලී විහාරස්ථානයකි. එම විහාර පරිශ්‍රය තුළ සිදුවන කටයුත්තක් නීතිය බිඳ දැමීමක් හෝ අතික්‍රමණය කිරීමක් ලෙස වර නඟන්නට පොලිසියට යුක්ති යුක්ත හේතුවක්ද තිබුණේ නැත. එහෙත් පොලිසිය අභයාරාමයට කඩාවැදුණේය. රැස්වීම ආරම්භ වනවාත් සමඟම ගපූර් මහතා විසින් රැස්වීම නතර කළ යුතු බවට වූ නියෝගය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ට ලබා දෙන ලμ. එහෙත් විහාරස්ථානයක සිදු කෙරෙන ධර්ම දේශනයක් පරිද්දෙන්ම මාදුළුවාවේ සෝභිත හිමියෝ සිය දේශනය නොනවත්වා කරගෙන ගියහ. පොලිසිය පූර්ව පිරිස් විසුරුවා හැරීමේ ක්‍රියාදාම සහ අංග කිසිවක් අනුගමනය කළේද නැත. එක්වරම විහාරස්ථාන භූමියට කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළ අතර ඒ සමඟ ජීව උණ්ඩ සහිත වෙඩි ප්‍රහාරයක් එල්ල කෙරිණ. මැයි රැලියේ සංවිධායකයෝ කිසිසේත් එවැන්නක් අපේක්‍ෂා නොකළෝය. පැමිණ සිටි පොලිස් හමුදාවට මැයි රැලියේ සංවිධායකයන් අත්අඩංගුවට ගෙන රැගෙන යෑමට කිසිදු බාධාවක් තිබුණේද නැත. අවශ්‍ය නම් නීතිය කැඩුවා යැයි නඩු පවරන්නට තිබිණි. මැයි රැලියේ සංවිධායකයන් අත කිසිදු ගිනි අවියක් හෝ කැති පොලු මුගුරු තිබුණේද නැත. අභයාරාමයේ තිබුණේ තෙල්, මල්, කපුරු සුවඳ දුම් පමණි. එහෙත් ශ්‍රී ලංකා පොලිසිය සිය ස්වාමියා වූ ආණ්ඩුවේ නියෝගය පිට අභයාරාම පන්සලට වෙඩි ප්‍රහාරයක් එල්ල කළේය. එය දෙවැනි වෙතොත් දෙවැනි වන්නේ 1505 ජනවාරියේ රුසියාවේ පීටර්ස්බර්ග් නුවර වීදි ඔස්සේ ගැපෝන් පූජකවරයාගේ නායකත්වයෙන් සාමකාමී පෙළපාළියේ ගමන් කළ රුසියානු කම්කරුවන්ට සාර් රජ්ජුරුවන්ගේ පොලිසිය සිදු කළ වෙඩි තැබීමට පමණි.

ප්‍රථම වෙඩි ප්‍රහාරයෙන්ම තරුණයන් ගණනාවකටම වෙඩි වැදුණු අතර ඔවුන්ට බරපතළ තුවාල සිදු වූයේය. පානදුරේ කිත්සිරි රණවක තරුණ මහතාගේ සිරුර විනිවිද ගිය වෙඩි පහර අභයාරාමයේ බුද්ධ මන්දිරයේ මස් වැදැල්ලක් සහිතව නතර වී තිබුණේය. කඳුළු ගෑස් ප්‍රහාරයෙන් හා වෙඩි වර්ෂාවෙන් ගැලවී යෑමට නොහැකිව අභයාරාමයට කොටු වූ පිරිසට බැටන් ප්‍රහාරයක්ද එල්ල වූයෙන් මරණාසන්න තුවාලකරුවන් රෝහල වෙත ගෙන යන්නට තිබූ ඉඩකඩද ඇහිරී ගියේය. කඳුළු ගෑස්වලින් නැඟුණු දුම් රොටු පහව යන විට තරුණ ජීවිත දෙකක් මාරයාට බිලි වී තිබුණේය.”

එදා ශ්‍රී ලනිපයේ බණ්ඩාරනායක මැයි රැලියට පාට ගෙනාවේ ය. යූඑන්පීයේ ජේ.ආර්. මැයි පෙළපාළි තහනම් කළේ ය. අද ඇත්තේ බණ්ඩාරනායකලාගේ-ජේ.ආර්.ලාගේ සෙවණැලි එකතුවෙන් සෑදුණු ශ්‍රී ලනිප-යූඑන්පී හවුල් ආණ්ඩුවක් ය. දෙගොල්ලොම එකතු වී ඉතිහාසයේ දෙවැනි වතාවටත් මැයි දිනය කල් දැමුහ. පෙළපාළි තහනම් කළහ. යහපාලන ආණ්ඩුව බලයට ගේන්න තැටිය රත් කළ සෝභිත හිමි අද ජීවතුන් අතර සිටියා නම්, එදා අභයාරාමයේදී කළ සටන සිහිකර කම්පාවනු නොඅනුමානය.
ජේ.ආර්. ධර්මිෂ්ඨ සමාජයක් නාමයෙන් මැයි පෙළපාළි තහනම් කළේ ය. යහපාලන ආණ්ඩුව වෙසක් උත්සවය නිමිත්තෙන් මැයි දිනය කල් දැම්මේ ය. මැයි 29 පැවැත්වීමට පුළුවන්කම තිබියදී වෙසක් උත්සවය අප්‍රේල් 29 වැනිදාට ගේන්න තීරණය කළේ කවුද කියා නම් කියන්නට දන්නේ නැත.

ලොව සෑම තැනම රතුපාටින් සමරන මැයි දිනය ලංකාවේ එක එක පාටින් සමරති. ලොව සෑම තැනම මැයි 29 සමරන වෙසක් උත්සවය ලංකාවේ අප්‍රේල් 29 සමරති. ලොව සෑම තැනකම මැයි 1වැනිදා සමරන මැයි දිනය අප 7වැනිදා සමරන්නේ ය. එහෙම බැලුවාම ලංකාවේ අපි වෙනස් ජාතියක් ය.

මේඝනාද

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here