වසර කිහිපයකට පෙර මියගිය පුද්ගලයකු ​පෙරභවයේ අලි ඇතුන් ඇසුර යළි ඉපදී හෙළි කල විශ්මිත කතාව මෙන්න

0
19

අලි ඇතුන් පිළිබඳව මේ දිනවල විවිධ තොරතුරු අසන්නට ලැබේ. අලි ඇතුන්ගේ පහරදීම් නිසා මරණයට පත්වන පිරිසද ඉහළ ගොස් තිබේ. අලි මිනිස් ගැටුම්ද සීඝ්‍රයෙන් ඉහළ යන තත්ත්වයක් උදා වී ඇත. අලි ඇතුන් අැසුරු කිරීම් සහ අලි ඇතුන්ගේ පහරදීම් පිළිබඳවද හෙළි කළ දරුවන් කීප දෙනෙක්ම පුනර්භව පර්යේෂණ අතරටද ඇතුළත් වී සිටිති.

එවැනි ඇතැම් දරුවෝ කුඩා කල අලි ඇතුන් පාලනය කළ සහ අලි ඇතුන් ඇති දැඩි කළ බැව්ද ප්‍රකාශ කළහ. ඇතැම් දරුවන් අලින්ට අමතන අලි භාෂාවේ වදන්ද ප්‍රකාශ කළ අවස්ථා තිබේ. ඇතැම් දරුවෝ අලින්ගේ පහරදීම්ද හෙළි කළහ. අලි ඇතුන් ඇති කළ බැව් හෙළි කළ දරුවන්ගේ විශේෂත්වය වූයේ ඔවුන් අලි ඇතුන්ට කිසිදු බියක් නොදැක්වීමය. ඇතැම් විට අලි ඇතුන් දුටු විගස ඔවුන් වෙත ගොස් ආහාරපාන දීමට ද එම දරුවෝ ඉදිරිපත් වූයේ දෙමාපියන් තම ගෙවත්තට අලි ඇතුන් ගෙන්වා දෙන ලෙස ඉතා කුඩා අවදියේදී ඉල්ලා සිටින්නට ද වූහ.

පෙර භවය හෙළි කළ දරුවෙකු මගින් අලි ඇතුන් පිළිබඳව අනාවරණය වූ ශ්‍රී ලංකාවේ ප්‍රථම දරුවා උපත ලැබුවේ 1959 වසරේදීය. කොළඹ දී උපන් එම දරුවාට ඉන්දික යනුවෙන් නම් දී තිබිණි උපතින්ම ඔහු අලි ඇතුන්ට දැඩි ඇල්මක් දක්වන බැව් දෙමාපියන්ට දක්නට ලැබිණි. මහ මගදී හෝ කිසියම් ගෙවත්තකදී අලි ඇතෙකු දක්නට ලැබුණ හොත් දරුවා ඉන් ඉවතට ගැනීම අසීරු විය. අලි ඇතුන් ගේ හැසිරීම් රටාව නැරඹීම ද ඔහුගේ ප්‍රියතම කාර්යය බවට පත් වී තිබිණි

වයස අවුරුදු දෙකහමාරක් පමණ වන විට මෙම දරුවා මගින් දක්නට ලැබුණු විශේෂත්වයක් විය. එනම් කිසියම් විටෙක අලියෙකු දුටු විගස එම අලියා ආසන්නයට යෑමටත් අවට ඇති ගසකින් කිසියම් කොළ අත්තක් කඩා එම අලියාට දීමට උත්සාහ කිරීමත්ය.

තම පුත්‍රයාගේ මෙම ක්‍රියාව මව්පියන් බියපත් කරවන්නක් වීය. අවට ප්‍රදේශයේ කිසියම් වැඩකට අලියෙකු ගෙන විත් ඇති බවක් දුටු විගස එම අලියා තම වත්තට ​රැගෙන එන ලෙස මෙම දරුවා ඉල්ලා සිටියේය. අලි ඇතුන්ට ඔහු දක්වන අසීමිත ආදරයක් නිසා ඔහු එසේ ක්‍රියා කරන්නේ යයි දෙමාපියෝ සිතූහ. අලියෙකු දුටු විගස කොළ අතු කඩා ගෙන ගොස් දීමට ද එම දරුවා උත්සාහ ගැනීම ද සිරිත වීය. අලි ඇතුන් අසල කිසිදු බියක් නොදැක්වූ මෙම දරුවා

අනේ! අපි උට කන්න දෙමු’’ යැයි පවසමින් ගෙවත්තේ කෙසෙල් ගස් පවා කප්පවා දුන් අවස්ථා ද ඕනෑ තරම්ය.

තම පුත්‍රයාගේ මෙම ක්‍රියා​වන් දෙමාපියන්ගේ දැඩි අවධානයට යොමු වී තිබිණි. මේ අයුරින් අලි ඇතුන්ට සමීප වූයේ කෙසේ දැයි දෙමාපියන්ට බලවත් ගැටලුවක්ව පැවතිනි. එහෙත් ඔහුගේ එම හැසිරීම් හේතුව අනාවරණය වූයේ ඔහු පෙරභාවය පිළිබඳව තොරතුරු පැවසීම නිසාය.

පෙරභව මතකය හෙළි කළ එම දරුවා වයස අවුරුදු තුනක් පමණ වන විට ප්‍රකාශ කළ මුල් වදන වූයේ.

‘‘මට එහෙදී අලි හිටියා’’ යනුවෙනි පොහොසත් ජීවිතයක් ගත කළ අයෙකු ලෙස තොරතුරු හෙළි කළ මෙම දරුවා ඔහුට සිටි අලියෙකුගේ නමක්ද අනාවරණය කළේ දෙමාපියන් පුදුමයට පත් කරමිනි. අලින් නෑවීම සඳහා දම්වැලකින් රැගෙන යන අයුරුත් උන් ජලය සමග ක්‍රීඩා කරන අයුරුත් තමා දුටු බැව් ඔහු පැවසීය. අනතුරුව පෙරභව නිවසට යන ගමන් මාර්ගය ද එම දරුවා විසින් හෙළි කරනු ලැබීය.

මෙම දරුවා පිළිබඳව ප්‍රථම වරට පර්​ෙ‌ය්ෂණයක් පැවැත්වීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණි මහාචාර්ය ඉසන් ස්වීඩන්සන් හිටපු මහාභාරකාර වී.එෆ්. ගුණරත්න මහතා සමග පර්​ෙ‌ය්ෂණය මෙහෙවීය. එම පර්​ෙ‌ය්ෂණයේදී අලි ඇතුන් හිමිව සිටි ව්‍යාපාරියෙකුගේ ජිවිත තොරතුරු එම දරුවා හෙළි කරනු ලැබූ බැව් සනාථ විය.

මෙම පුනර්භව සාධකය 1974 වසරේදී ප්‍රකාශයට පත් වූ (JOURANL OF THE AMERICAN SOCIETY FOR PSYCHICAC RESEARCH) නම් පර්යේෂණ වාර්තාවට ද ඇතුළත් කර තිබේ. කුඩා කල සිට අලි අැතුන්ට මෙම දරුවා තුළ තිබූ සෙනෙහසට හේතු වූයේ පෙර භවයේ දී අලි අැතුන්ට දැක්වූ දයාව නිසා බැව් මෙම පුනර්භව පර්​ෙ‌ය්ෂණයේ දී පිළිගැනීමට සිදුවිය.

අලි ඇතුන් අමතන භාෂාව කතා කළ තවත් දරුවෙක් 1979 වසරේදී උපත ලැබීය. දෙහිවල ප්‍රදේශයේදී පුනර්භව පර්​ෙ‌ය්ෂණයකට ලක් වූ එම දරුවා ඇත් ගොව්වන් අලි පාලනයේ දී භාවිත කරන වදන් කීපයක් ද ඉතා කුඩා කල සිට ප්‍රකාශ කළේය. කනිෂ්ක නම් වූ ඔහු ප්‍රථම වරට ප්‍රකාශ කළ වදන වූයේ ‘‘දහ අලියා’’ ‘‘දහ’’ යනුවෙනි.

මෙම ප්‍රකාශයෙන් මවිතයට පත් වූ මව එම වදන ඉගෙන ගත්තේ කෙසේදැයි පුංචි පුතුගෙන් විමසුවාය. ‘‘අලි නාවන්න එක්ක යන්නෙ එහෙම තමයි’’ යනු දරුවාගේ පිළිතුර වීය. ඉන් අනතුරුව අලින් පාලනය කිරීමේ දී ඒ සඳහා භාවිත කරන තවත් වදන් කීපයක් ද ඔහු හෙළි කළේය.

වයස අවුරුදු දෙකේදී පමණ ඔහු මව හිඳගෙන සිටින විට දී මවගේ කකුලක් මත නැගීම සිරිත විය.

දිනක් මව පුටුවක හිඳගෙන සිටියාය. මව වෙත පැමිණි දරුවා තෙත්ත බිල තෙත්ත බිල යයි කීවේය. මවට එය තේරුම් ගත නොහැකි විය. ‘‘කකුල උඩට නැගල තමයි අලින්ගේ පිටට නගින්නේ’’ යැයි පැවසූ දරුවා මවගේ පාදයකට කකුල තබා ඉහළට නැග ගෙල බදාගත්තේය.

‘‘තවත් දිනක්’’ අම්මා දන්නවාද? අලි කුංචනාද කරනවා, යැයි විමසීය.

‘‘මම දන්නේ නැහැ’’ මව පිළිතුරු දුන්නාය. ඔන්න එහෙනම් අහගන්න යැයි මහ හඬින් කෑගැසීය. මේ අයුරින් අලින්ගේ අැසුර පෙන්වීමට එම දරුවා උත්සාහ ගත්තේය. තවත් දිනක් මිදුලට ගිය දරුවා දිග කෝටුවක් අතට ගෙන ලී කොටයක් වෙත ගියේය. ‘‘දිරි අලියා දිරි අලියා’’ යැයි හඬ නගන්නට විය.

‘‘ඔයා මොකද කරන්නේ?’’ මව විමසුවාය. ‘‘කොටේ අදින්න කියල අලියට කියන්නෙ එහෙමයි’’ යැයි දරුවාගේ පිළිතුරවීය. තවත් විටෙක ඒ අයුරින්ම ගෙමිදුලට ගිය දරුවා ‘‘දිරි, දිරි’’ යනුවෙන් හඬ නගා පැවසීය. එදිනද මව ‘‘පුතා මොකද කරන්නේ?’’ යයි විමසුවාය.

‘‘මේ කොටය ගෙනියන්න කියල අලියට කියනවා’’ යි පිළිතුරු දුන්නේය. වරින් වර අලි ඇසුර හෙළි කළ ඔහු ‘‘අලි නාවන්න ගෙනියන කොට කකුලට දම්වැල් දානවා’’ උන් කුලප්පු වුණාම දම්වැලනේ තමයි නවත්තන්නෙ. ඒත් හෙණ්ඩුව අතේ තියෙන්න ඕනෑ’’ යයි ද ප්‍රකාශ කරන්නට විය.

‘‘දවසක් අලි නාවන්න ගියා. එතන දී කකුල ලිස්සල මාව වතුරට වැටුණා’’ යැයිද මෙම දරුවා ඉතා කුඩා කලදී ප්‍රකාශ කළ බැව් එම දරුවාගේ මව පැවසුවාය. පෙර භවයේ දී දියට වැටීමක් නිසා මරණය සිදු වී ඇතැයි සිතිය හැකි බැව් දරුවාගේ ප්‍රකාශවලින් හෙළිවිය එහෙත් එය සිදුවූයේ කුමන ප්‍රදේශයකදී ද යන්න ඔහුගෙන් අනාවරණය නොවීය. ඔහු හෙළි කළේ පෙර භවයේදී ජයතිලක යන නමකින් හැදින් වූ බවය.

පේරාදෙණිය මහ රෝහලේදී 1995 වසරේ උපත ලද චම්පිකා නම් දැරියක්ද පෙරභවයේ තම නිවසේ අලි ඇතුන් සිටි බැව් හෙළි කළාය. පෙරභවයේ ජීවත්ව සිටි හල්ගොඩ වැනි නමක් ප්‍රකාශ කළ බැව් දෙමාපියෝ පැවසූහ. මෙම දැරිය පෙරභවය ආරම්භ කළ ප්‍රථම වදන වී ඇත්තේ ඇයට වෙනත් සීයා කෙනෙක් සිටින බැව් ප්‍රකාශ කිරීමය. ඇය නිතරම මතකයෙන් හෙළිකරනු ලැබ අැත්තේ සීයා පිළිබඳව වීමද විශේෂත්වයකි.

අපේ එහෙ සීයට මෝටර් බයිසිකලයක් තියෙනවා. එයා කොට කලිසම ඇඳගෙන බයික් එකේ යනවා. අපි හිටපු ගේ තිබුණේ තේ වත්තක මැද්දෙ ඒ ගෙදරදී අපිට අලියෙක් සිටියා. සීයා ඒ අලියට කන්න ගස් ගෙනත් දෙනවා. ඒ ගෙදර දැන් ගේ වගේ නෙවෙයි. ලොකු ගෙයක්. අපේ ගෙදරට කියන්නෙ ‘‘සිංහගිරි’’ කියල යනුවෙන් මෙම දැරිය ප්‍රකාශ කරනු ලැබුවේ වයස අවුරුදු තුනේ පමණ සිටය.

‘‘​අපේ අයියට වෙඩි වැදිල මරුණා’’ යනුවෙන් සොහොයුරෙක් සිටි බැව් ද ඇය ප්‍රකාශ කළාය. ඇය පැවසූ පරිදි පෙර භවයේදී මිතුරෙක් සමග මෝටර් බයිසිකලයකින් ගමන් කර තිබේ. එම මිතුරාගේ නම සුරේ ලෙස ඇය හැඳින්වූවාය.

දිනක් සුරේ සමගින් බයිසිකලයේ නැගී ගමන් ගත් බවත් මහාමාර්ගයේදී වැටීමක් සිදුවූ බවත් ඇගේ මතකයේ තිබිණි. සොහොයුරාගේ වියෝවෙන් පසුව දෙමාපියන්ද මරණයට පත් වූ බැව් ද ඇය හෙළි කළාය. අනතුරුව ඇය රැක බලා ගනු ලැබුවේ ඇගේ සීයා විසින් බැව්ද මෙම දැරිය පැහැදිලිව ප්‍රකාශ කළාය.

‘‘අපේ ගේ තිබුණු තේ වත්තෙ ගෙදරට යන්න දුර පාරක් තියෙනවා’’ අපේ ගෙදර හිටපු අලියව බඳින්න අපි වත්තට යනවා’’ යැයිද ඇය අලි ඇතුන් සිටි බැව් අනාවරණය කළාය.

අලි ඇතුන් ඇසුර හෙළිකළ තවත් දරුවෙකු උපත ලැබුවේ 2011 වසරේ දී අනුරාධපුර රෝහලේදීය. හසිඳු නම් වූ එම දරුවා යන්තම් දෙපයින් නැගිට ගැනීමට හැකිවීමත් සමග බංකුවක් මත දෙපා විහිඳුවා හිද ගැනීම සිරිත විය. ඒ අයුරින් හිද දෙපා විසුරවමින් සිටින අයුරු මව කීප විටක්ම දුටුවාය. කුඩා දරුවන්ගේ සාමාන්‍ය ක්‍රීඩාවක් එම දරුවා මගින් දක්නට ලැබෙන්නේ යැයි මව සිතුවාය. දිනක් ඒ අයුරින් බංකුවක් මත සිටි දරුවා මව ඇමතීය.

‘‘මම එහෙදී අලියා පිට යන්නෙ මෙහෙමයි කීවේය. ඒ පිළිබඳව ද මව එතරම් අවධානයක් යොමු නොකළාය. දින කීපයක් ඒ අයුරින් ක්‍රියා කළ දරුවා අලියා පිට උඩ ගියේ මෙහෙමයි. යනුවෙන් නිතර නිතර කියන්නට විය මේ අතර ඔහු අනාවරණය කළ තවත් වදනක් විය. ‘‘මට පාට චෛත්‍ය බලන්න යන්න ඕනෑ’’ යනු එම වදනවිය.

පුත්‍රයාගේ මෙම ප්‍රකාශය දෙමාපියන්ගේ පුදුමයට හේතුවිය. ‘‘පාට චෛත්‍යය’’ යයි ඔහු හදුන්වන්නේ කුමක් දැයි දෙමාපියෝ නොදත්හ. සති කීපයක් ගතවිය. චෛත්‍යය බැලීමට යාමට අවශ්‍ය බැව් දරුවා නිතර නිතර කියා සිටියේය. දිනකට කීප විටක්ම ඔහු ඒ බැව් දෙමාපියන්ට පැවසීය. මේ වන විට දරුවා වයස අවුරුදු දෙකක් පමණ වී තිබිණි.

තම පුත්‍රයාගේ මෙම ප්‍රකාශය අනුව එවැනි චෛත්‍යයක් සොයා ගැනීමට මව උනන්දු වූවාය. එහෙත් එවැන්නක් ඔවුන්ට හමු නොවිණි. අවසානයේ පුත්‍රයා සමග චෛත්‍ය කීපයක් වෙත යාමට දෙමාපියෝ තීරණය කළහ. ඒ අනුව චෛත්‍ය කීපයක් වෙත දරුවා කැඳවාගෙන ගිය නමුත් ඒවා එකක් හෝ තමා කියනු ලබන චෛත්‍යය නොවන බැව් දරුවා ප්‍රකාශ කළේය. මේ අතර ඔවුන් අනුරාධපුර රුවන්මැලි සෑය වෙත ගියහ. එම චෛත්‍යය දුටු සැණින් දරුවා මහත් සතුටට පත් විය.

‘‘මේ තියෙන්නෙ මම කියපු චෛත්‍යය තමයි’’ යනුවෙන් පැවසූ ඔහු වහා දුවගොස් චෛත්‍යය අසල බිම දිගාවීය. කිසි දිනෙක දැක නොතිබූ අයුරින් මුළු සිරුරම බිම දිගාවී දෑත් ඉහළට එසවූ දරුවා මහත් භක්තියෙන් යුතුව වැඳිම ආරම්භ කළේය. ටික වේලාවක් වැදුම් සිදු කළ පසිදු දරුවා රුවන්මැලි සෑය වටා ඇවිද ගියේය. එසේ යන අතර එහි බිම අතුරා ඇති ගල් දෙස පරීක්‍ෂාවෙන් බලා සිටිනු දෙමාපියන්ට දක්නට ලැබිණි.
ටික වේලාවක් අවටසිරි නරඹමින් සිටි දරුවා මව වෙත පැමිණියේය.

‘‘මම ඉස්සර අලියා පිට නැගල මෙතැනට එනවා. එතකොට මේ පොළොවේ තිබුණේ මැටි. මම අලියා පිට ඉදගෙන යනවා. එතකොට මේ පොළොව තැළෙනවා’’ යැයි පැවසීය. අනතුරුව ඔහු පෙර ජීවන තොරතුරු හෙළි කිරීම ආරම්භ කළ බැව් මව අප සමඟ කීවාය.

‘‘පසිඳු අලින් පිළිබඳව ඊට ප්‍රථම හෙළි කළේ නැද්ද?’’ යයි මෙම දරුවා පිළිබඳව සිදු කළ පර්​ෙ‌ය්ෂණයේ දී අපි මවගෙන් විමසුවෙමු.

එදා රුවන්මැලි සෑය ළඟදී තමයි මුලින්ම ඒ බැව් සඳහන් කළේ. ඒත් එයාට වයස අවුරුදු එකහමාරක් පමණ අලින්ව දැක්කම උන්ට කන්න දෙන්න ළඟට යන පුරුද්දක් තිබුණා. අලින්ට කිසිම බයක් තිබුණේ නැහැ.
එදා රුවන්මැලි සෑය ළඟදී අලියා පිට ඉඳගෙන පොළොව හදපු කතාව කිව්වට පස්සේ නිතරම එහි යාමට අවශ්‍ය බැව් කියන්නට දරුවා පුරුදු වුණා. ඒ ගිය හැම විටම ‘‘මම අලියා පිට ගිහින් පොළොව හැදුවා’’ යැයි කීවා.

පසිඳුගේ හැසිරීමේ රටාව තුළ පවතින තවත් විශේෂත්වයක්ද ඇත. එනම් සිංහල ඖෂධ වර්ගවලට ඔහු දක්වන ඉමහත් ආශාවය. කොත්තමල්ලි කසාය සහ අරිෂ්ඨ වැනි පාන වර්ගවලට ඔහු දැඩි ආශාවක් දක්වයි. වයස අවුරුද්දේ පමණ සිට ඔහු කොත්තමල්ලි පානය ඉල්ලා සිටි බැව්ද, මව අප සමඟ කීවාය.

අලියා පිට ගිය බැව් ඔහු අනාවරණය කිරීම ආරම්භ වූයේ රුවන්මැලි සෑය අසලදී බැව් පැහැදිලිව දක්නට ලැබුණු බැව් පසිදුගේ මව අනාවරණය කළාය. මෙම දරුවා හෙළි කළ නම් අතර දුටුනා යන නමක් ද ඇතුළත් වී තිබිණි.

මේ හැර පසිදු ප්‍රකාශ කර ඇත්තේ දැන් මව හමුවුයේ රුවන්මැලිසෑය අසලදී බවය. ඉහළ ස්ථානයක සිට මව වෙත පැමිණි බව ඔහු හෙළි කර ඇත. එක්දහස් නවසිය අසූහයේ දී උපතලද හොරණ ප්‍රදේශයේ දරුවෙක් අලි පහර දීමක් ගැන හෙළි කළේය.

‘‘මට අලියා ගැහැව්වා’’ යැයි එම දරුවා ප්‍රකාශ කරන විට එවැනි අලි පහරදීම් පිළිබඳව එම දරුවාට ශ්‍රවණය වීමක් හෝ සිදු නොවී තිබිණි. එම දරුවාගේ ප්‍රකාශය දෙමාපියන්ගේ පුදුමයට හේතු වී තිබිණ. අලින් විසින් පහර දීම් පිළිබඳව නිතර නිතර එම දරුවා හෙළි කරන විට ඔහුගේ වයස අවුරුදු තුනකි. එම දරුවා හෙළි කළ තොරතුරු අතර ඔහුගේ මාමා කෙනෙකුටත් වරක් අලියෙකු පහරදීමක් සිදු කළ පුවතක්ද ඇතුළත් වීය. එම දරුවා හෙළි කළ තොරතුරු පිළිබඳව දෙමාපියෝ එතරම් අවධානයක් යොමු නොකිරිම නිසා ඔහුගේ ප්‍රකාශය යටපත් වී ගිය බැව් එම දරුවාගේ මව අප සමඟ පැවැසුවාය.

තිස්ස ජයවර්ධන

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here