විෂ එන්නත් විද රෝගීන් ඝාතනය කරන ජර්මානු හෙද නිලධාරියා

0
18

“මිස්ටර් නීල් අනේ මේ බලන්න… මේ ලෙඩාට අමාරුයි. හුස්ම ගන්නත් බැහැ.. ප්‍රෙෂර් එක අඩු වේගෙන යනවා.. මේ දැන් හොඳට හිටියනෙ. උදේ මාත් එක්ක කතා කර කරත් හිටියා. එයාගෙ අලුත උපන් මුනුපුරාව තවම දැක්කෙ නෑ කියලත් කිව්වා.” පනස් අට වියේ පසු වූ රෝගී පුද්ගලයකුගේ ඇඳ ළඟ සිටි තරුණ හෙද නිලධාරිනිය වාට්ටුව භාර පළපුරුදු හෙද නිලධාරිවරයකු වන නීල් මහතාට කතා කළේ ඉමහත් කලබලයකිනි.

“මම දැන් ටිකකට ඉස්සෙල්ලනෙ උදේ ඩොක්ටර් නියම කළ බෙහෙත දුන්නෙ. මොනවත් වෙන්න විදියක් නම් නෑ. කෝ බලන්න” කියාගෙනම තරමක් අෑතින් සිට වෙනත් රෝගියකු පරීක්ෂා කරන න්‍යායෙන් මේ රෝගියා දෙස හොරැහින් ඇස ගසා ගෙන සිටි නීල් නමැති ‘මේල් නර්ස්’ කඩිසරව එතැනට දිව ආවේය. වාට්ටුවේ සියලු සේවක පිරිස එතැනට වටවූයේ අනාරාධිතවය. රෝගියකු අමාරු වූ විට කඩියා වගේ දුව පනිමින් ඔහු කෙසේ හෝ රෝගියා ගොඩ දාන අයුරු බලා සිටින්නට අපූරු වැඩකි.

“ඉක්මනට ඔක්සිජන් දාන්න.. ඉක්මන් කරන්න.. මොනිටරය දාන්න.. අයියෝ මොකද මේ පරක්කු. තව ඔක්සිජන් වැඩි කරන්න. ලේවල වායු තත්ත්වය බලන්න. අයි.සී.යූ. ඉන්ෆෝම් කරන්න.”

හැමෝටම අණ දෙමින් දඟලන ඔහුගේ ක්‍රියාශීලීත්වය පමණටත් වැඩිය. සියල්ලන්ගේම ඇස් රැඳී ඇත්තේ රෝගියා දෙස නොව නීල් දෙසය. හදිසියේම මොනිටරයේ වැටෙන්නේ රෝගියාගේ හෘදය අඩපණ වුණු ලකුණුය.
“ඇරෙස්ට් වුණා නේද?”

ඔහු කල් තියා පිළියෙල කොට ඒ අසල කිසිවකුටත් නොදැනෙන්නට තබා තිබූ බෙහෙත ගෙන, රෝගියාට එන්නත් කරයි. එක දිගට වෙහෙස නොබලා ‘හාට් මසාජ්’ දෙයි. අඩපණ වුණු හෘදය යථා තත්ත්වයට පැමිණෙයි. එලොව ගිය රෝගියා මෙලොව පැමිණේ. රෝගියා එලොව යැවීමට කටයුතු කළේත් නීල්ම බව කිසිවකුත් නොදනී.

මේ අෑත අතීතයේ සිදුවූවක් නොව 2016 සිදු වූවකි. එය අප හදවත් කම්පා කරන්නේ සමාජය කෙතරම් විවිධ ගති ඇති මනුෂ්‍යයන්ගෙන් සමන්විත වනවාද යන්න ගැනත් අපිට වැටහීමක් ලබාදෙමිනි. ඔවුන් උන්මන්තකයන්ද, සාමාන්‍ය මිනිස්සුද යන්න පවා අපිට හිතාගත නොහැකි. මේ පුවත ඇසෙන්නේ සංවර්ධිත රටක් යනුවෙන් උදම් අනන ජර්මනියෙන් වීම තවත් පුදුමයකි.

හදවතට විස විවිධ බෙහෙත් වර්ග රෝගීන්ට එන්නත් කරමින් රෝගීන් අසාධ්‍ය තත්ත්වයට පත්කොට, නැවත එයට ප්‍රතිවිරුද්ධ බෙහෙත් දී කාර්ය මණ්ඩලය ඉදිරිපිට තමා රෝගීන් බේරා ගන්නා අයුරු ප්‍රදර්ශනය කොට ‘වීරයකු’ වීම ඔහුගේ අරමුණ විය. රෝගියා ගොඩ ආ විට ඉමහත් සතුටක් ලබන ඔහු රෝගියා මිය ගිය හොත් කනස්සල්ලට පත් වේ. ඔහු මෙසේ ජීවිතත් එක්ක සෙල්ලම් කොට ඇත්තේ කෙනකු මත්ද්‍රව්‍ය පානය කොට ලබා ගන්නාක් වැනි ‘ඊඩපඪතත’ එකක් ලබා ගැනීමටත්, ඒකකාරී දිවියේ ඇති කම්මැළිකම මකා දමා ගැනීමටත් බව කියැවේ. මෙම අතුරේ යන්නාක් වැනි අවදානම් කාර්යය බොහෝ විට කෙළවර වූයේ රෝගියාගේ මරණයෙනි.

1976 උපත ලබා ඇති නීල්ස් හෝගල් පිළිබඳ මුල්ම සැකය ඇති වන්නේ 2005දීය. “රෝගියකු මරණයට පත් කිරීමට උත්සාහ කිරීම” යන චෝදනාවෙන් වරදකරු වී, නඩු තීන්දුවකින් වසර හතහමාරක් සිරගත වන ඔහු නිදහස් වී පැමිණ, ඒ සෙල්ලමම නැවත පටන් ගන්නේ වෙනත් රෝහලකය. එහිදී මරණ දෙකකට සැකපිට අත්අඩංගුවට පත් වන්නේ 2016දීය. නැවත එහිදී ඔහු විසින් කරන ලද පාපෝච්චාරණයෙන් හෙළි වූයේ ලෝකයේම සෞඛ්‍ය අංශ කරකවා අත අරින තොරතුරකි. එනම් ඔහු මේ අසාමාන්‍ය මානසික සතුට සෙවීමට ගොස් මරණ 97ක් සිදුකර ඇති බවය.

“ජර්මන් ඉතිහාසයේම තනි පුද්ගලයකු මේ ක්‍රමයට මෙතරම් මරණ සංඛ්‍යාවක් කළ බවක් වාර්තා වන්නේ නැහැ.” මේ පිළිබඳ විමර්ශන කොමිටියේ ප්‍රධානියා වූ ඒපදඥ ඉජඩථඪඤබ පැවැසීය. යම් සැකයක් ඇති වන තත්ත්වයක් ඇති වනවිට රෝහල් මාරු කරමින් 1999 සිට මෙය දිගටම කරගෙන ගොස් ඇත. මිනී 130ක් ගොඩ ගෙන පරීක්ෂණ කර ඇති අතර, ඔහු විසින් ඝාතනය කර ඇති සැබෑ මිනිස් ජීවිත සංඛ්‍යාව ඊටත් වඩා වැඩි බව පොලිසියේ මතයයි.

රෝගියකු රෝහල් ගත වන්නේ තම ජීවිතය වෛද්‍යවරු ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ දෑත් මත තබමිනි. ලෝකයේ ඕනෑම රටක සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට ඉහළ සමාජ ගෞරවයක් ලැබෙන්නේ ඒ නිසාය. බටහිර වෛද්‍ය විද්‍යාවේ පියා ලෙස හඳුන්වන ‘හිපොක්‍රටිස්’ පවා පැවැසුවේ පළමුව දැනටමත් අපහසුතාවට පත්ව ඇති රෝගියාට තවදුරටත් හානියක් නොකිරීම රෝගී සත්කාරයේ පළමු වගකීම බවය. ප්ලොරන්ස් නයිටින්ගේල් උතුම් කාන්තාව හෙද සේවයට හඳුන්වා දුන් ආචාර ධර්ම පද්ධතිය අදටත් පවතී.

අපි ආත්මාරක්ෂාව සඳහා මිනිස් ක්‍රියාකාරකම් දෙස සූක්ෂ්ම ලෙස ඇස ගසා ගෙන සිටිය යුතු බවට පාඩමක් මෙයින් නොලැබෙන්නේද?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here